උපදේශනය යන්නට ඉංග‍්‍රිසි බසින්  “Counseling”  යන වචනය භාවිතා කරනු ලබන අතර එය ඉංග‍්‍රීසියට බිඳී එන්නේ ග‍්‍රීක හා ලතින් භාෂාවන්ට අයත් “කොන්සිලියන්” යන වචනයෙන් නිරුක්තිය ලැබීමෙනි. එහි අර්ථය වනුයේ මැදිහත්වීම, මගපෙන්වීම, ගැටලූ විසඳීම, සාකච්ඡුා කිරීම හා තොරතුරු ලබාදීම යනාදිය යි. ඒ අනුව උපදේශනය යනු මිනිසුන් තුළ පවත්නා ගැටලූ විසඳීම මුල්කොටගත් මනෝවිද්‍යාත්මක මැදිහත්වීමක් සහිත ක‍්‍රියාවලියකැයි” සරලව අර්ථකථනය කළ හැක.

මීට අමතරව උපදේශනය යනු කුමක්දැයි යන්නට තවත් නිර්වචන රැසක් ඉදිරිපත් වී ඇත. එනම්,

“මිනිසුන්ගේ සිතිවිලි ඇතුළත් ප‍්‍රචාරණ සාධක හා චර්යාත්මක සාධක ඇතුළත් පුද්ගල   සංවර්ධනය, වෘත්තීය සංවර්ධනය පදනම් කරගත් මානසික සෞඛ්‍ය සහ මානව සංවර්ධන මූලධර්ම වල එකතුවකි.” (පුද්ගල සංවර්ධනය, සෞඛ්‍ය, මානසික යහපැවැත්ම, වෘත්තීය ජීවිතය, පෞරුෂ වර්ධනය තුළින් මිනිස් ජීවිත සමතුලනය කිරීම සඳහා මැදිහත්වීම උපදේශනයයි.)

ඇමරිකානු උපදේශන සංගමය

මානසික ගැටලූ වලක්වා සුවපත්වීම සිදු කරන ක‍්‍රමවේදයයි.

මිනිස් අන්තර් සම්බන්ධතා වර්ධනය කරන ක‍්‍රමවේදයකි.

මනෝප‍්‍රතිකාර මගින් මානසික ගැටලූ විසදීමේ ක‍්‍රියාමාර්ගයකි.

ගැටලූ විසඳීම සඳහා කෙටිකාලීනව සිදු කරන මනෝවිද්‍යාත්මක මැදිහත්වීමක් සහිත ක‍්‍රමවේදයකි.

එමෙන් ම මෙම ක‍්‍රියාවලිය සිදුකිරීමේ දී ප‍්‍රධාන භූමිකා ද්විත්වයක් මුල් වනු ඇත. එනම්, උපදේශකවරයා සහ උපදේශනලාභියා යන පුද්ගලයින් ය.

  1. උපදේශකවරයා: මොහු සෑමවිට ම වෘත්තීය පුහුණුවක් ලබාගත් සම්පත් පුද්ගලයෙක් වියයුතු අතර ඒ සඳහා මනෝවිද්‍යා උපදේශනය පිළිබඳව උපාධියක් හෝ පශ්චාත් උපාධියක් හෝ ඩිප්ලෝමාවක් තිබිය යුතු ය. එමෙන් ම අවම වශයෙන් වසරකවත් උපදේශනය පිළිබඳව ප‍්‍රායෝගික පුහුණුවක් ලබා තිබීම් වැදගත් වේ. ඒ අනුව උගත් න්‍යායාත්මක දැනුම මිනිස් ගැටලූ විසඳීම සඳහා භාවිතා කරනු ලබන පුද්ගලයා උපදේශකවරයා ලෙස අර්ථකථනය කෙරේ.
  2. උපදේශනලාභියා: මෙවැනි පුද්ගලයෙකු සැමවිටම මානසික ගැටලූවකින් පෙලෙයි. නැතහොත් උපදේශකවරයෙකුගේ සෘජු සේවාව අපේක්ෂා කරනු ලබන  ඕනෑම අයෙකු උපදේශනලාභියෙකු වශයෙන් සලකනු ලබයි.

මේ අනුව  ඕනෑ ම වයසක සිටින  ඕනෑම වෘත්තියක සහ සමාජ මට්ටමක සිටින සෑම සංස්කෘතියකට අයත් පුද්ගලයින් සහ පුද්ගල කණ්ඩායම් සඳහා උපදේශකවරුන් සිය සේවය ලබාදීමට බැඳී සිටිති. මෙහිදී යම්කිසි ආචාරධර්මීය පිළිවෙත් අනුගමනය කිරීමකට යටත්ව සිය සේවය ලබාදීමට උපදේශකවරුන්ට සිදුවේ. මෙහිදී බොහෝවිට අනුගමනය කරනුයේ වර්ෂ 1992 දී ඇමරිකානු මනෝවිද්‍යා සංගමය විසින් ඉදිරිපත් කරන ලද ප‍්‍රමිතීන් සහ සත්චාරිත‍්‍ර මාලාවයි.

එමෙන් ම කැනේඩියානු මනෝවිද්‍යා සංගමයට අනුව උපදේශන මනෝවිද්‍යාඥයෝ මනෝවිද්‍යා මූලධර්ම පුද්ගල – සමාජිය – කණ්ඩායම් සහ පවුල් යනාදියෙහි වර්ධනයට හා යහපැවැත්මට මෙන් ම මානසික සෞඛ්‍ය සංවර්ධනයට ත් යොදාගනු ලබති. එහිදී ජීවිත අත්දැකීම් හා සංක‍්‍රාන්ති, සම්බන්ධතා පැවැත්වීම, යම් යම් තීරණ ගැනීම හා උක්ත ඒකක මුල්කොටගත් ගැටලූ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීම  සිදු කෙරේ. ඒ අනුව කැනේඩියානු සංගමය තුළ උපදේශන මනෝවිද්‍යාව තුළ ක‍්‍රියාත්මක කළ හැකි වටිනාකම් මාලාවක් පවතී. එනම්,

  1. මිනිසුන් ඔවුන්ගේ ම වෙනසෙහි නියෝජිතයින් ලෙස දකිති. එමෙන් ම මෙම වෙනසෙහි යාන්ත‍්‍රණය ලෙස ප‍්‍රතිකාරමය සම්බන්ධතාව පෙන්වා දෙති.
  2. ඇගයීම සහ විනිශ්චය සම්බන්ධ උපදේශන මනෝවිද්‍යා එළඹුම් උපදේශනලාභියා කේන්ද්‍ර කොට ගත්තක් වීම මෙන් ම එහිදී පුද්ගල වෙනස්කම්, පවුලේ බලපෑම, සමාජ හා සංස්කෘතික සන්දර්භය පිළිබඳව ද විමසා බලයි.
  3. උපදේශන ක‍්‍රියාවලිය ක‍්‍රියාත්මක කරන්නේ අදාළ පුද්ගලයින්ගේ විශේෂ සමාජ හා සංස්කෘතික සාධක වලට සංවේදී වීමෙනි.

සායනික මනෝවිද්‍යාව සහ උපදේශන මනෝවිද්‍යාව

මනෝ ව්‍යාධිවේදය [Psycho Pathology / Abnormal Psychology]  සම්බන්ධව කටයුතු කෙරෙන ප‍්‍රධාන ප‍්‍රායෝගික ක්ෂේත‍්‍ර ද්විත්වය වනුයේ සායනික මනෝවිද්‍යාව සහ උපදේශන මනෝවිද්‍යාව යන්න යි. මෙම උපදේශන හා සායනික මනෝවිද්‍යාව යන ක්ෂේත‍්‍ර දෙකෙහි ම මනෝප‍්‍රතිකාර භාවිතය සිදු කරනු ලබයි. 

සායනික මනෝවිද්‍යාඥයන් විසින් භින්නෝන්මාදය වැනි උග‍්‍ර මානසික රෝග සඳහා ප‍්‍රතිකාර කරනු ලබන අතර උපදේශන මනෝවිද්‍යාඥයන් විසින් සුළු මානසික අක‍්‍රමතා සහ ගැටලූ සඳහා ප‍්‍රතිකාර කරනු ලබයි. ඒ සඳහා සායනික මනෝවිද්‍යාඥයන් හා මනෝවෛද්‍යවරුන් වෛද්‍යමය ක‍්‍රමවේදයන් ද උපදේශන මනෝවිද්‍යාඥයන් සාමාන්‍ය මනෝප‍්‍රතිකාර හා චිකිත්සක ක‍්‍රම ශිල්පයන් අනුගමනය කරනු ලැබේ. එනම්, සායනික මනෝවිද්‍යාඥයන් ඖෂධ ප‍්‍රතිකාර යොදා ගැනෙන අතර උපදේශන මනෝ විද්‍යාඥයන්  ඖෂධ නොවන ප‍්‍රතිකාර ක‍්‍රම භාවිතා කරනු ලබයි. ඒ ඒ ක‍්‍රම තුළින් ඔවුන් විසින් පුද්ගලයින් සතු මානසික සෞඛ්‍ය යහපත් කිරීමට කටයුතු කරනු ලබයි.