උපදේශනය වෘත්තීයමය විෂය ධාරාවක් වන බැවින් න්‍යාය සහ භාවිතය යන දෙඅංශය ම ඒ සඳහා අත්‍යාවශ්‍ය වේ. න්‍යායාත්මක අංශය ගොඩනඟනු ලබන්නේ මනෝවිද්‍යාව මගින් වන අතර ඒ තුළ අන්තර්ගත මූලධර්ම ප‍්‍රායෝගික වශයෙන් ක‍්‍රියාත්මක කිරීම සිදුවනුයේ උපදේශන මනෝවිද්‍යාව මගිනි. ඒ අනුව උපදේශන මනෝවිද්‍යාව යනු මනෝවිද්‍යා දැනුම ව්‍යවහාරයට ගැනීමක් ලෙස සරලව හැඳින්විය හැක. මෙහිදී මූලිකව ම මනෝවිද්‍යාවේ දක්නට ලැබෙන න්‍යායාත්මක ප‍්‍රවේශයන් උපයෝගී කරගැනීමක් සිදු වේ. එනම්, මනෝවිද්‍යාවට අයත් එක් එක් ගුරුකුලයන්ට අයත් දැනුම ව්‍යවහාරයට ගැනීමකි. ඒ අනුව එක් එක් ගුරුකුලයන් උපදේශන මනෝවිද්‍යාවට  දායකවන ආකාරය පිළිබඳ විමසා බැලීම වටිනේය. ඒ පිළිබඳ පහතින් විග‍්‍රහ කරනු ලබයි.

ව්‍යූහවාදී ප‍්‍රවේශය – Structuralism Approach

19 වන සියවයෙහි අගභාගය වනවිට මනෝවිද්‍යාවේ ප‍්‍රථම ගුරුකුලය ව්‍යූහවාදය (Structuralism) ආරම්භ වන අතර මෙය William James හා Wilhelm Wundt යන මනෝවිද්‍යාඥයන් දෙපල විසින් ඉදිරිපත් කරන ලද්දකි. මෙම ගුරුකුලය යටතේ විමසීමට ලක් කරනුයේ මනස පිළිබඳව හෙවත් මනසේ ව්‍යූහාත්මක සාධක හැදෑරීම පිළිබඳව යි. ඒ අනුව පුද්ගලයාගේ මානසික ජීවිතය පිළිබඳව අධ්‍යයනය කරනු ලබන දැනුම් සම්භාරයක් වශයෙන් ද ව්‍යූහවාදී ප‍්‍රවේශය අර්ථකථනය කළ හැක. පුද්ගලයාගේ අභ්‍යන්තරික මනසෙහි ගොඩනැගෙන හැඟීම් – සිතිවිලි – චිත්තවේග යනාදිය පදනම් කරගෙන සිය මානසික ජීවිතය ගොඩනඟාගෙන තිබේ. එහිදී පුද්ගලයා සිතන ආකාරය හෝ ඔහුගේ මනස ක‍්‍රියාත්මකවන ආකාරය පිළිබඳව ත් ඒ අනුව පුද්ගලයා පරිසරයට හැඩගැසෙනුයේ කෙසේද යන්න පිළිබඳව ත් පුද්ගලයාගේ සිතන ආකාරය වෙනස් කිරීමේ මූලධර්ම කවරේද යන්න පිළිබඳව ත් මෙහිදී අධ්‍යයනයට ලක් කෙරේ.

එමෙන් ම නූතන උපදේශන ක්ෂේත‍්‍රයේදී මිනිස් ගැටලූ විමසා බැලීමේදී ව්‍යූහවාදී න්‍යායන් භාවිතා කරන්නේ කෙසේද යන්න පිළිබඳව සොයා බැලීම ත් ඉතා වැදගත් වේ. එනම්, මෙහිදී මොහොතක් පාසා උපදේශනයට පැමිණි පුද්ගලයාගේ සිත ක‍්‍රියාත්මක වන ආකාරය උපදේශකවරයා විසින් අධ්‍යායනය කළ යුතු වේ. එමගින් උපදේශනලාභියාගේ මානසිකත්වය හඳුනාගැනීමට පහසුවක් සැලසේ.

නිදසුන්: නිතර නිතර කෝපයට පත්වෙන පුද්ගලයෙකු උපදේශනයට පැමිණි විට මොහොතක් පාසා ඔහුගේ සිත ක‍්‍රියාත්මක වන ආකාරය පිළිබඳව උපදේශකවරයා විසින් අධ්‍යයනය කරන්නා සේ ම උපදේශනලාභියා තුළ ද තම සිත අධ්‍යයනය කිරීමට හැකිවන පරිදි ස්වයං අවබෝධයක් ඇති කළ යුතු ය. මේ සඳහා කෝපයට පත්වූ අවස්ථාවක හී තම සිතට නැගුණු සිතිවිලි පිළිබඳව කඩදාසියක් ගෙන ලිවීමට ත් යම් යම් ක‍්‍රියාකාරකම් (ද්වේශ කලමනාකරණ ක‍්‍රමයන්) කිරීමට සැලැස්වීමෙන් කෙටිකාලයක් තුළ දී කෝපය අවම කරගැනීමට හැකියාවක් ලැබෙනු ඇත.

මෙලෙස පුද්ගලයා තුළ ඇතිවන මානසික අර්බුද වලදී උපදේශනලාභියාට තමාගේ ම මනසේ අභ්‍යන්තරයට යොමුවීමට සැලැස්වීම ව්‍යූහවාදී උපදේශන මනෝවිද්‍යා ගුරුකුලයේ මූලික ස්වාභාවය වේ.

මනෝවිශ්ලේෂණවාදී ප‍්‍රවේශය – Psycho-Analytical Approach

Sigmund Freud නැමති ඔස්ට්‍රියානු ජාතික මනෝවිද්‍යාඥයා විසින් මනෝවිශ්ලේෂණවාදී ප‍්‍රවේශය හඳුන්වා දුන් අතර යටිසිත හෙවත් අවිඥානය විසින් පුද්ගලයා මෙහෙයවන බව මෙමගින් අවධාරණය කෙරේ. මේ අනුව පුද්ගල මනස මූලික වශයෙන් ස්ථර 3කට ද පසුව එය තවත් ස්ථර 3 කින් බෙදා තිබේ. එනම්,

පෙර විග‍්‍රහය 

  • විඥානය (උඩුසිත) – Consciousness  
  • උප විඥානය – Pre Consciousness
  • අවිඥානය – Unconsciousness

පසු විග‍්‍රහය 

  • Id සංස්කාරය 
  • Ego සංස්කාරය
  • Super Ego සංස්කාරය 

සියලූ ආශාවන් Id සංස්කාරය මගින් නියෝජනය වන අතර හොඳ – නරක හා සදාචාරය යනාදිය Super Ego සංස්කාරය මගින් නිරූපණය වේ. මෙම අංශ දෙකෙහි දිගුකාලීන ඝට්ටනය පුද්ගලයා මානසිකව රෝගී කිරීමට ත් ආතතියට පත් කරවීමට ත් හේතු වේ. එබැවින් එය නිරාකරණය කිරීම සඳහා ආත්ම ශක්තිය හා ආත්ම විශ්වාසය දියුණු කරගත යුතු වන අතර ඒ සඳහා Ego සංස්කාරය අත්‍යාවශ්‍ය වේ. උපදේශනය මගින් සිදු කරනුයේ පුද්ගලයාගේ Ego සංස්කාරය වර්ධනය කරනු ලැබේ. 

මුල්කාලීනව යටිසිත වෙනස් කරමින් ගැටලූ විසඳීම සඳහා Sigmund Freud විසින් මෝහන ක‍්‍රමය යොදාගත් අතර පසුකාලීනව එහි ඇති යම් යම් ගැටලූ හේතුවෙන් නිදහස් සංඝටනය හෙවත් නිදහස් ප‍්‍රකාශනය  Free Association යන ක‍්‍රමය හඳුන්වාදෙන ලදි. නූතන උපදේශනය තුළ ද උපදේශකවරයා විසින් මෙම නිදහස් සංඝටනය බහුලව භාවිතාවට ගනු ලබයි. ඒ අනුව මනෝවිශ්ලේෂණවාදී ප‍්‍රවේශය තුළ ගැටලූ විසඳීම සඳහා නිදහස් ප‍්‍රකාශනය හෙවත් මානසික විශ්ලේෂණයක යෙදීම ඔස්සේ උපදේශන මනෝවිද්‍යාව සඳහා දායකත්වයක් සැපයේ. එනම්, උපදේශකවරයා විසින් උපදේශනලාභියාගේ නිදහස් කථනයට ඇහුම්කන්දීම ඔස්සේ ඔහුගේ හෝ ඇයගේ අවිඥානික මානසික ස්වාභාවය හඳුනාගැනීමට ත් ඒ සඳහා සුදුසු විසඳුම් හෝ ප‍්‍රතිකාර ලබාදීම ත් සිදු කෙරේ.

නිදසුන් : ළමා ගැටලූවකදී ළමයා වෙත චිත‍්‍රයක් අදින්නට දුන්විට අදින ලද සිතුවම තුළින් දරුවාගේ අභ්‍යන්තරික ස්වාභාවය එමගින් නිරූපණය වී තිබීම.

චර්යාවාදී ප‍්‍රවේශය – Behavioral Approach

උපදේශන මනෝවිද්‍යාව වඩාත් විද්‍යාත්මක ක්ෂේත‍්‍රයක් බවට පත් වනුයේ චර්යාවාදය සම්බන්ධවීම ත් සමඟ ය. J B Watson විසින් චර්යාවාදය ලොවට ඉදිරිපත් කරන්නට වු අතර මෙමගින් ප‍්‍රකාශ වන්නේ ජීවීන්ගේ උත්තේජ හා ප‍්‍රතිචාර අතර සම්බන්ධතාවය යි.  ඕනෑම ජීවියෙක් යම්කිසි උත්තේජයක් සඳහා ප‍්‍රතිචාර දක්වනු ලබන අතර උත්තේජ හා ප‍්‍රතිචාර න්‍යාය මත චර්යාවාදය ගොඩනැගී තිබේ. තව ද සත්ත්වයාගේ ඉගෙනුම චර්යාව ඇසුරෙන් විග‍්‍රහ කළ හැකි බව චර්යාවාදයේ පිළිගැනීම වේ. මේ පිළිබඳව කතා කිරීමේදී රුසියානු ජාතික Ivan Petrovich Pavlov  නැමති මනෝ විද්‍යාඥයාට ප‍්‍රමුඛ ස්ථානයක් හිමි වේ. එමෙන් ම චර්යවාදී මනෝවිද්‍යාව තුළ මේ හා සම්බන්ධ චර්යාවාදී සිද්ධාන්ත රාශියක් හඳුනාගත හැකි අතර උපස්ථම්භන න්‍යාය (Theory of Reinforcement) ඉන් ප‍්‍රධාන සිද්ධාන්තයක් වශයෙන් දැක්වියි හැක.

උපස්ථම්භනය යනු පුද්ගලයා තුළ ධනාත්මක හා සෘණාත්මක චර්යා රටාවන් ගොඩනැගීම වන අතර ඒ සඳහා ත්‍යාග හා දඬුවම් යනාදිය ලබාදීම අත්‍යාවශ්‍ය වේ. 

නිදසුන්: පවුල් ජීවිතය ගත කිරීමේදී සුළු සුළු ත්‍යාග හුවමාරු කරගැනීමෙන් හා ප‍්‍රශංසා කිරීම් සහ අගය කිරීම් තුළින් ගැටලූ විසඳා ගැනීම පහසු වේ.

Premaya kadaweema
charyawadi praveshaya

ඒ අනුව පුද්ගල ප‍්‍රතිචාර සන්නිවේදනය කිරීම තුළින් උත්තේජක පරිසරය වෙනස් කිරීමේ වැඩපිළිවෙළ චර්යාවාදී ප‍්‍රවේශය ඔස්සේ සිදු කෙරේ. එනම්. අනෙක් අතට පුද්ගලයාගේ චර්යාව වෙනස් කිරීම තුළින් මානසික ගැටලූ විසඳීම චර්යාවාදී ප‍්‍රවේශයේ මූලික ඉලක්කය ලෙස හැදින්විය හැක.

ප‍්‍රජානන ප‍්‍රවේශය – Cognitive Approach

ප‍්‍රජානන මනෝවිද්‍යාව සායනික වශයෙන් උපදේශනයට මෙන් ම මනෝප‍්‍රතිකාර ක්ෂේත‍්‍රයට ද විශාල සේවාවක් කර ඇති මනෝවිද්‍යාත්මක ප‍්‍රවේශයකි. මෙහිදී ජීවිතයේ යම් යම් ගැටලූ විසඳීම සඳහා අවශ්‍ය ප‍්‍රජානන සාධක භාවිතයට ගැනීම සිදුවන අතර ඒ තුළින් පුද්ගලයා යථාර්ථයට රැගෙන ඒම සිදු වේ. මෙම ප‍්‍රවේශයට අයත් සායනික සිද්ධාන්ත ඉදිරිපත් කරන ලද්දේ ඇල්බර්ට් එලිස් (Albert Elis) සහ ආරෝන් ටී. බෙක් (Aron T. Beck) නැමති මනෝවිද්‍යාඥයන් දෙදෙනා ය. මොවුන් ප‍්‍රජානන මූලධර්ම මානසික ගැටලූ විසඳීම සඳහා යොදාගැනීමේ පදනම පිළිබඳව විග‍්‍රහ කරනු ලබයි.

ඒ අනුව විශේෂයෙන් ම ප‍්‍රජානන මනෝවිද්‍යාව ඔස්සේ පුද්ගලයාගේ අභ්‍යන්තරික මානසික ජීවිතය පිළිබඳව අධ්‍යයනයට ලක් කෙරේ. සාමාන්‍යයෙන් පුද්ගල අභ්‍යන්තරය තුළ බුද්ධිය, කුසලතා, අවබෝධය හා පෞරුෂය වැනි සාධක ක‍්‍රියාත්මක වේ. මෙම අන්තර් සාධක පදනම් කරගෙන පුද්ගලයා යථාර්ථයට පත් කිරීම ප‍්‍රජානන මනෝවිද්‍යා ප‍්‍රවේශය ඔස්සේ සිදු වේ. තවද පුද්ගල ගැටලූ විසඳීම සඳහා ද එම අභ්‍යන්තරික සාධක ඉවහල්වනු ඇත. ඒ අනුව ප‍්‍රජානන සාධක පදනම් කරගෙන පුද්ගලයා යථාර්ථයට පත් කිරීමේ ක‍්‍රියාවලිය සඳහා ප‍්‍රජානන ප‍්‍රවේශයේ දායකත්වය හේතු වේ.

මෙලෙස ගැටලූ විසදීම සඳහා පුද්ගල චර්යාව හා චින්තනය එක ලෙස වෙනස් කළ යුතුව ඇත. උපදේශනලාභියාගේ අන්තර් ක‍්‍රියාකාරිත්වය වෙනස් කිරීම තුළින් ගැටලූ නිරකරණය කළ හැකි අතර ඉන් චර්යාව හා චින්තනය වඩාත් යථාර්ථවාදී කරනු ලැබේ. මේ සඳහා න්‍යායක් ද ඉදිරිපත්ව ඇති අතර එය  ප‍්‍රජානන චර්යා න්‍යාය වශයෙන් හැදින්වේ.

සමාජ ඉගෙනුම් න්‍යාය – Social Learning Theory

මෙය මනෝවිද්‍යාවෙහි දක්නට ලැබෙන තවත් මනෝවිද්‍යාත්මක ගුරුකුලයකි. Alfred Bandura විසින් ඉදිරිපත් කරනු ලබන මෙම න්‍යාය මගින් ප‍්‍රකාශ වන්නේ පුද්ගලයාට ගැටලූ විසඳා ගැනීම සඳහා සමාජ අත්දැකීම් උපකාරී වන බවයි. සමාජ අත්දැකීම් ගැටලූ විසඳා ගැනීමේදී අත්‍යාවශ්‍ය වේ.

නිදසුන්: ප්‍රේමය කඩ වූ පුද්ගලයෙකුට අතීතයේදී එවැනි අත්දැකීම් ඉදිරියේ ක‍්‍රියා කළ ආකාරය දෙස බලා වර්තමාන ගැටලූවට එය සම්බන්ධ කළ හැක.

එසේ ම පුද්ගල ජීවිත දෙස බැලීමේදී ප‍්‍රතිඵල රහිත හා ප‍්‍රතිඵල සහිත අත්දැකීම් පවතී. ඒ තුළින් ජීවිතයේ ඇතිවන ගැටලූ තනිව ම විසදා ගැනීමට වුව ද අවබෝධයක් ඇති කෙරේ.

මානුෂවාදී ප‍්‍රවේශය – Humanistic Approach

මානුෂවාදී මනෝවිද්‍යාව ඇසුරෙන් මානුෂවාදී උපදේශනය සංවර්ධනය වී ඇති අතර මෙහි ආරම්භකයා වශයෙන් සැලකෙනුයේ Abraham Maslow නැමැත්තා ය. මොහු විසින් අවශ්‍යතා පිළිබඳ ධූරාවලියක් ඉදිරිපත් කරන්නට වූ අතර එම න්‍යායට අනුව එක් එක් අවශ්‍යතා සපුරා ගැනීම තුළින් පරිපූර්ණ ජීවිතයක් ලබාගැනීමට ත් ආත්ම සාක්ෂාත්කරණය කරගැනීමට ත් හැකි වේ. එහෙත් සෑම මිනිසෙකුට ම මෙම පරිපූර්ණත්වයට ළඟා විය නො හැක.

Manushawadi praveshaya

මානුෂවාදී ප‍්‍රවේශයේ පසුකාලීන සංවර්ධනය සිදුවන්නේ Carl Rogers නැමති මනෝ විද්‍යාඥයාගේ මැදිහත්වීමත් සමඟ ය. මොහුගේ මැදිහත්වීම හේතුවෙන් උපදේශනය වඩාත් වෘත්තීය මට්ටමින් දියුණු වූ අතර උපදේශනය සාර්ථකත්වය සඳහා උපදේශනලාභියා හා උපදේශකවරයා අතර අත්‍යාවශයෙන් ම පැවතිය යුතු සහකම්පනය යන සංකල්පය ඉදිරිපත් විය. ඒ අනුව උපදේශනලාභියා කේන්ද්‍ර කොටගෙන කුසලතා සංවර්ධනය කිරීම තුළින් මානසික ගැටලූ විසදීම උපදේශනය ලෙස දක්වමින් මානුෂවාදී ප‍්‍රවේශය ඔස්සේ උපදේශන මනෝවිද්‍යාවට දායකත්වය සපයයි.

සාංදෘෂ්ටිකවාදී ප‍්‍රවේශය – Existential Approach

සාංදෘෂ්ටිකවාදී දර්ශනය යටතේ සාංදෘෂ්ටිකවාදී මනෝවිද්‍යාව බිහිවී තිබේ. මෙකී සාංදෘෂ්ටිකවාදයේ පුරෝගාමියා වනුයේ Victor Frankl නැමැත්තා ය. Existence යන ජර්මන් වචනයෙහි අර්ථය වනුයේ මානව පැවැත්ම යන්නයි. එමෙන් ම මෙහිදී ජීවිතය පිළිබඳව ගැඹුරින් ගවේෂනය කිරීම සිදුවේ. ඒ තුළින් ජීවිතය පිළිබඳව යථාර්ථවත් අවබෝධයක් ඇති අරගැනීම මෙම් ප‍්‍රවේශය ඔස්සේ සිදු වේ. ෆ‍්‍රෑන්කල්ට අනුව් ගැටලූ ඇති අනුයේ පුද්ගලයා යථාර්ථයෙන් ඈත්වීම හේතුවෙනි. යථාර්ථයේ පිහිටුවීම සඳහා ජිවිතය පිළිබඳව අවබෝධයක් ඇති කළ යුතු ය. ඒ තුළින් ගැටලූ විසඳා ගැනීම පහසු වේ. එබැවින් උපදේශනයේදී ජීවිතය හා සැබෑ නිදහස යනාදී අංශ පිළිබඳව පරිණත හා පැහැදිලි අවබෝධයක් ලබාදෙමින් ඒ ඔස්සේ තමාට ම තම ගැටලූ විසඳා ගැනීමට අවශ්‍ය හැකියාව වර්ධනය කිරීම මගින් සාංදෘෂ්ටික ප‍්‍රවේශය උපදේශනය සඳහා දායකත්වය සපයනු ලබයි. 

මේ අනුව උක්ත මනෝවිද්‍යා ප‍්‍රවේශයන්ට අනුව උපදේශනය හා සම්බන්ධ ගුරුකුල පිළිබඳව ත් ඒවා උපදේශන මනෝවිද්‍යාවට දායකවන ආකාරය පිළිබඳව සංක්ෂිප්තව පැහැදිලි වේ.