උපදේශන මනෝවිද්‍යාව ව්‍යවහාරික මනෝවිද්‍යා ක්ෂේත‍්‍රයට අයත් වන බැවින් සමාජ පරිණාමය සමඟ මිනිසුන්ගේ සමකාලීන ගැටලූ මේ යටතේ විමසා බලනු ලැබේ. ඒ අනුව මනෝසමාජීය ගැටලූ වල අවශ්‍යතාවය හා වැඩි දියුණුවීම මත වර්තමානයේ  උපදේශන මනෝවිද්‍යාව තවත් උප අංශ කිහිපයක් යටතේ වර්ගීකරණයට ලක්ව තිබේ. එවැනි උපදේශන ශාඛා කිහිපයක් පහත සඳහන් වේ.

  • විවාහ උපදේශනය – Marital Counseling
  • ලිංගික උපදේශනය – Sexual Counseling  
  • පවුල් උපදේශනය – Family Counseling     
  • ගර්භනී උපදේශනය – Pregnant Counseling   
  • දික්කසාද උපදේශනය – Divorce Counseling
  • කම්පිත උපදේශනය – Grief Counseling
  • ව්‍යසන උපදේශනය – Trauma Counseling
  • මත්ද්‍රව්‍ය ඇබ්බැහි උපදේශනය – Substance Abuse Counseling 
  • ළමා උපදේශනය – Child Counseling 
  • යෞවන උපදේශනය – Teen Counseling   
  • වැඩිහිටි උපදේශනය – Adult Counseling 
  • කාර්මික උපදේශනය – Industrial Counseling 
  • එච්. අයි. වී. උපදේශනය – HIV Counseling
  • ජාන උපදේශනය – Genetic Counseling

විවාහ උපදේශනය

විවාහ අපේක්ෂක ස්ත‍්‍රී පුරුෂ දෙදෙනා විවාහය සඳහා අවශ්‍ය මූලිකාංග හඳුනාගැනීම විවාහ උපදේශනයේ මූලික ස්වාභාවය වේ. මේ යටතේ විවාහ අපේක්ෂිත සාමාජිකයින්ගේ ප‍්‍රජානන අංශය පරීක්ෂා කිරීම මූලික වශයෙන් සිදුකරනු ලැබේ. ආකල්ප විශමතා, ලිංගික විෂමතා, මනෝ සමාජීය නොහැකියාවන් හඳුනාගෙන ඒවා ඉවත්කර ගැනීමට කෙටිකාලීනව දෙදෙනාගේ ම මානසික සහ චර්යාත්මක කුසලතා සංවර්ධනය කිරීම මෙහි ප‍්‍රධාන කාර්යභාරය ලෙස දැක්විය හැක. විවාහයට සුදුසු ආකල්ප පද්ධතියක් ගොඩනැගීම මෙහි තවත් වැදගත් අංගයකි. එසේ ම විවාහවීමට පෙර හදුනාගත් බාධාවන් ඉවත් කිරීම ද මෙහිදී සිදු කෙරේ. ඒ අනුව කෙටි කාලයක් තුළ විවාහ ජීවිතයට බලපාන දෑ මෙන් ම අනාගතයේ දී සිදුවිය හැකි ගැටලූකාරී තත්වයන් හඳුනාගෙන ඒවා නිරාකරණය කර ගැනීමට උපකාර කිරීම විවාහ උපදේශනයේ ස්වාභාවය වේ. බටහිර රටවල විවාහ උපදේශනය සඳහා පෞරුෂය මැනීම හා ආවේග කලමනාකරණය වැනි ක‍්‍රමෝපායන් ද මේ සඳහා යොදා ගැනේ.

ලිංගික උපදේශනය

විවාහ උපදේශනය මෙන් ම ලිංගික උපදේශනය ද නූතන සමාජයේ ඉතා වැදගත් කාර්යභාරයක් ඉටුකරනු ලබන විෂය ක්ෂේත‍්‍රයක් ලෙසින් හඳුන්වනු ලබයි. ස්ත‍්‍රී පුරුෂ දෙපක්ෂය තුළ සුබවාදී ලිංගික ආකල්ප ඇති කිරීම, ලිංගික ගැටලූ විසඳා ගැනීම, ලිංගිකත්වය පිළිබඳව පවතින දුර්මත බැහැර කිරීම, පුද්ගල කුසලතා සංවර්ධනය කිරීම ලිංගික උපදේශනයේ ප‍්‍රධාන කාර්යයන් වේ. ලිංගිකත්වය හා සම්බන්ධ ගැටලූ අතර සරල ලිංගික ගැටලූ සහ මනෝලිංගික ආබාධ යනුවෙන් අංශ දෙකක් ප‍්‍රධාන ලෙස ම හඳුනාගත හැකි ය. ඒවා සඳහා මනෝප‍්‍රතිකාර භාවිතා කිරීම ද මෙම විෂය යටතේ ක‍්‍රියාත්මක වේ. තව ද ලිංගික ජීවිතයේ මුණගැසෙන ගැටලූ අවම කර ඉහළ තෘප්තිමත්භාවයක්  කරා ගමන් කිරීමට අවශ්‍ය උපදෙස් ලබාදීම මෙම විෂයේ තවත් ලක්ෂණයකි. එසේ ම ලිංගික කලමනාකරණය උදෙසා දෙදෙනාගේම කුසලතා වර්ධනය කිරීම ද ලිංගික උපදේශනයේ කාර්යභාරයට අයත් වේ.

පවුල් උපදේශනය

වර්තමාන සමාජයේ වඩාත් ප‍්‍රචලිත උපදේශන ශාඛාව වනුයේ පවුල් උපදේශනයයි. පවුල් ගැටලූ නිරාකරණය කිරීම මෙහි මූලික අභිලාශය යි. ඒ සඳහා පවුලේ සාමාජිකයින් තුළ කුසලතා සංවර්ධනය කිරීම මෙහි ප‍්‍රධාන කාර්යභාරය වේ. බිඳුණු පවුලක ලක්ෂණ අවම කර පවුලේ සැබෑ හරය පවත්වාගෙන යාමට පවුලේ සාමජිකයන් හට උපකාර කිරීම මෙහිදී සිදු වේ. එමෙන් ම පවුලේ සාමාජිකයින් අතර යහපත් අන්තර් සබඳතා පවත්වා ගෙනයාමට උපකාර කිරීම ද පවුල් ගැටලූ හඳුනාගෙන ඒවා කෙටිකාලීනව විසඳාගැනීමට මැදිහත්වීම ද පවුල් උපදේශනයේ තවත් ලක්ෂණයකි. පවුල් ගැටලූ මත අඹුසැමියන් නිතර අඩදබර වීම, ආදරය අහිමිවීම, අනියම් සම්බන්ධතා, මානසික රෝග පවුලේ යහපැවැත්මට තර්ජනයක් වීම මෙහිදී දක්නට ලැබෙන ප‍්‍රධාන ගැටලූ ය. මේවා විසඳීම සඳහා පවුල් උපදේශන න්‍යායන් සහ මනෝප‍්‍රතිකාර භාවිතා කරනු ලැබේ.

ගර්භනී උපදේශනය

දරුවෙකු කුස තුළ ගැබ්ගත් දින සිට එම දරුවා ප‍්‍රසූත කිරීම දක්වා මුණගැසෙන මනෝසාමාජීය ගැටලූ විසඳා ගැනීම සඳහා ගර්භණී උපදේශනය ගොඩනැගී තිබේ.  දරුවෙකු ප‍්‍රසූත කිරීමේදී මවගේ කායික සෞඛ්‍ය මෙන් ම මානසික සෞඛ්‍ය තත්වය ඉතාමත් වැදගත් වේ. ඊට හේතුව වනුයේ මවගේ  නිරෝගීබව යහපත් නීරෝගී දරුවෙකු බිහිවීම කෙරෙහි බලපානු ලැබීමයි. ඒ අනුව් ගර්භනී උපදේශනයේ ප‍්‍රධාන අවධි දෙකක් හදුනාගත හැක. එනම්,

  1. පූර්ව ගර්භනී උපදේශනය 
  2. පශ්චාත් ගර්භනී උපදේශනය 

පූර්ව ගර්භනී උපදේශනයට අනුව දරුවා ගැබ්ගෙන ප‍්‍රසූත කිරීම දක්වා මුහුණදෙන මනෝසමාජීය ගැටලූ වලට විසඳුම් ඉදිරිපත් කරනු ලැබේ. පවුලේ අඩදබර, අනියම් සම්බන්ධතා, බීමත්කම, දරුවා පිළිගැනීම සම්බන්ධ ගැටලූ, ආර්ථික ප‍්‍රශ්න ඊට නිදසුන් වේ.

පශ්චාත් ගර්භනී උපදේශනය මගින් දරුවා ප‍්‍රසූත කිරීම සමඟ මව තුළ ඇතිවන විවිධ මානසික තත්වයන්ට මෙන් ම මානසික රෝග සඳහා විසඳුම් සොයනු ලැබේ. මෙහිදී අවශ්‍යය වූ ඉට මානසික වෛද්‍යවරුන් වෙත යොමු කරවා සිය පවුලේ සමාජිකයින්ගේ රැකවරණය ලබාදීම වැනි පියවර ද ඇතැම්විට ක‍්‍රියාත්මක කිරීමට සිදු වේ.

දික්කසාද උපදේශනය

දික්කසාදය ව්‍යසනකාරී ය. එය ජීවිතය වෙනස් කර දමන හැඟීම් හා සම්බන්ධ ක‍්‍රියාත්මක වන සංකීර්ණ ගැටලූවකි. මෙවැනි අවස්ථාවක දී සුහදව වෙන්වීමට ත් දරුවන් සිටීනම් ඔවුන්ට මින් බලපෑමක් ඇති නොවීමට උපදෙස් ලබා ගැනීමට ත් ඒ සඳහා අවශ්‍ය මගපෙන්වීම සඳහා පුහුණුවලත් උපදේශකයෙකුගේ සහය ලබාගැනීම  අත්‍යාවශ්‍ය ය. එමෙන් ම මෙහිදී දික්කසාද වීමට අවශ්‍ය යුවල සාමකාමීව වෙන්වීමට හැකි මානසිකත්වයක් සහ ඒ සඳහා එකඟතාවයක් ගොඩනැංවීම වැනි ම දික්කසාද මැදිහත්කරණය කිරීම උපදේශකයාගේ කාර්යයකි. මෙමගින් යුවල අතර මනා සන්නිවේදනයි වර්ධනය කිරීම සිදු වේ. මේ සමඟ ළමා අයිතීන් සහ දේපල බෙදීයාම වැනි කාරණා කතාකොට සමතයකට පත්කිරීමෙන් සුහදව දික්කසාදය ලබාගැනීම සඳහා අවශ්‍ය මානසිකත්වයක් නිර්මාණය කිරීමට ද උපදේශනයේ සහය අවශ්‍ය වේ.

කම්පිත උපදේශනය

අහිමිවීම යනු සෑම දෙයකට ම සෑම සතෙකුට ම  පුද්ගලයෙකුට ම පොදු විශ්වීය සංසිද්ධියකි. මෙහිදී මව – පියා – බිරිඳ – සැමියා – දරුවන් හෝ වෙනත් සමීපතමයන් ඇතුළු  ඕනෑම අයෙක් අහිමිවිය හැකි ය. එහෙත් එවැනි අවස්ථාවක ඇතිවන දැඩි ශෝකීබව හා හුදකලාබව හේතුවෙන් ජීවිතයට මුහුණදීමේ ශක්තිය නැති කරගනී. එම නිසා දෛනික ජීවිතය තුළදී ත් වෘත්තීය හා සමාජීය ජීවිතය තුළදී ත් කම්පිත වූ සෘණාත්මක ස්වාභාවයකින් යුතුව කටයුතු කරනු ලබයි. මෙවැනි අවස්ථාවකදී උපදේශකයා විසින් ඉන් මිදීමට අවශ්‍ය සහයෝගය ලබාදීම සිදු කෙරේ. මේ සඳහා තනිපුද්ගල, කණ්ඩායම් හා පවුල් වශයෙන් ගෙන කම්පිත උපදේශනය සිදුකරනු ලබයි. එනම්, අහිමි වූ පුද්ගලයා පිළිබඳව ඔහුගේ සමීපතමයන් හා පවුලේ අයට දැනෙන ශෝකය අවම කිරීම ත්  මානසික අක‍්‍රමතා මට්ටමට යාමේ බලපෑම වැළැක්වීම ත් එම තත්වයට සාර්ථකව මුහුණදීමට අවශ්‍ය මානසික් ශක්තිමත්භාවය ගොඩනැගීම වැනි උපක‍්‍රම ක‍්‍රියාත්මක කොට ඉන් සාර්ථකව ජය ගැනීමට අවශ්‍ය උපදෙස් හා මගපෙන්වීම ලබාදෙයි. 

ඒ අනුව උපදේශනය ශෝකීබව දැනෙන  ඕනෑ ම අවස්ථාවක දී වුව ද ක‍්‍රියාත්මක කළ හැක. එනම්,  

  • අහිමිවීමට පෙර
  • අහිමිවන පුද්ගලයා දැඩි අසාධ්‍ය තත්වයේ සිටිනවිට 
  • අහිමිවීමත් සමඟ
  • අහිමි වී ටික වේලාවකට පසු 

මේ තුළින් අහිමිවීම යන කාරණාව මත පුද්ගලයා තුළ ඇති කෙරෙන කම්පිත බව හෝ කඩාවැටීම දරාගැනීමට ත් එම තත්වයට මුහුණදීමටත් හැකියාවක් ඇති කරවයි.

ව්‍යසන උපදේශනය

ව්‍යසන යනුවෙන් හැදින්වෙන්නේ ස්වාභාවික සහ මානව ආපදාවන් ය. ස්වාභාවික ආපදා යනු ස්වාභාවධර්මයේ ඇතිවන් අහිතකර තත්වයන් වන අතර මානව ආපදා යනු මිනිසුන් අතර හෝ ඔවුන් විසින් සිදු කරන අහිතකර තත්වයන් ය.

ස්වාභාවික ආපදාමානව ආපදා
සුනාමියුද්ධය
ගංවතුරකැරලි කෝලහාල
නියඟයස්ත‍්‍රී ¥ෂණ
නායයාම්මිනී මැරුම්

මේවාට ගොදුරු වන පුද්ගලයින් වින්දිතයින් වශයෙන් හඳුන්වනු ලබන අතර මෙවැනි ආපදාවන්ට මුහුණදීමෙන් පසුව වින්දිතයින් තුළ මානසික ආතතිමය තත්වයක් ඇති වේ. එහිදී අදාල ආපදා තත්වය නැවත ඇති වේ යන බිය මුසු හැගීම, සාමන්‍ය පරිදි දෛනික වැඩකටයුතු කරගැනීමේ අපහසුව බහුල ලෙස මෙවැනි ව්‍යසන් උපදේශනලාභීන් තුළ දක්නට ලැබේ. එබැවින් රාජ්‍ය සහ රාජ්‍ය නො වන සංවිධාන මගින් මනෝ සමාජ සත්කාරයන් ලබාදීම වැනි කටයුතු සඳහා ව්‍යසන උපදේශනය යොදාගනු ලබයි.

මත්ද්‍රව්‍ය ඇබ්බැහි උපදේශනය

මත්ද්‍රව්‍ය ඇබ්බැහිකම යනු ඉතා ප‍්‍රබල පෞද්ගලික හා සමාජමය අතින් අහිතකර ප‍්‍රතිඵලයන් ඇති කරන ලද ගැටලූකාරී තත්වයකි. මධ්‍යසාර හෝ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී ඇති පුද්ගලයින්ට සිය ඇබ්බැහිගත චර්යාවෙන් මිදීමට හා එය පාලනය කරගැනීමට අවශ්‍ය උපදෙස් හා මගපෙන්වීම ලබාගැනීමට මනෝව්‍යධිවේදය හ ඇබ්බැහිය පිළිබඳ උපදේශන මෙන් ම ප‍්‍රතිකාරාත්මක පුහුණුවක් සහිත උපදේශකවරයෙකුගේ සහය අවශ්‍ය කෙරේ. එවිට උපදේශකවරයා උගත් න්‍යායත්මක හා ප‍්‍රායෝගික පුහුණුව සහ ඔහු ලද අත්දැකීම් ඇසුරින් ඇබ්බැහිගත චර්යාව හිමි උපදේශනලාභියාට මෙන් ම ඔහුගේ පවුලේ සාමාජිකයින් සඳහා අවශ්‍ය උපදේශනය ලබා දෙයි. ඉන් ඇබ්බැහිගත චර්යාව ක‍්‍රමයෙන් පාලනය කරගෙන කාලානුරූපීව ඉන් මිදීමටත් පවුලේ සමාජිකයින් මුහුණදුන් ක්ලමථකාරී බවින් මිදීමටත් හැකියාවක් ලැබෙනු ඇත.

ළමා උපදේශනය

ළමාවිය ආශ‍්‍රිත සියලූ ම මනෝසමාජීය ගැටලූ විසඳා ගැනීම සඳහා ක‍්‍රියාත්මක වන විෂය ක්ෂේත‍්‍රය වනුයේ ළමා උපදේශනයයි. එසේ ම ළමා මානසික රෝග සඳහා වෛද්‍ය ප‍්‍රතිකාර වෙත යොමු කිරීමට අවශ්‍ය මැදිහත්වීම ද ළමා උපදේශනය මගින් සිදු වේ. ඇඳ තෙමා ගැනීම, ඇඟිලිඉරීම වැනි දෑ ළමා මානසික ගැටලූ ලෙස සැලකෙන අතර අධික‍්‍රියාකාරීත්වය හා බුද්ධිහීනතාවය වැනි තත්වයන් ළමා මානසික රෝග වශයෙන් සලකනු ලැබේ. මෙවැනි ළමුන්ගේ කුසලතා සංවර්ධනය කිරීම හා ඒ සඳහා ධනාත්මක මගපෙන්වීමක් ලබාදීම ළමා උපදේශනය මගින් සිදු කෙරේ. එමෙන් ම මෙම තත්වයන්ට සමගාමීව පාසල් උපදේශනය ද ක‍්‍රියාත්මක වීම සිදු වේ. එහිදී ඉගෙනුම් අක‍්‍රමතා, අමතකවීම, විභාග ජයගැනීම, අවධානය පිළිබඳ ගැටලූ යනාදි තත්වයන් වෙත අවධානය යොමු කරනු ලබයි.

යෞවන උපදේශනය

පුද්ගල ජීවිතයේ නැතහොත් සංවර්ධන අවධීන්ගේ පළමු හැරවුම් ලක්ෂ්‍ය වනුයේ නව යොවුන් අවධිය යි.  මෙම වකවානුවේදී සිදුවන කායික හා මානසික වෙනස්වීම් මත ඇති කෙරෙන ක්ලමථකාරී තත්වය මගහරවා ගැනීමට ඇතැම්විට මඋපදේශනය අවශ්‍ය කෙරේ. යෞවන උපදේශනය යනු යොවුන්වියේදී ඇතිවන ලිංගික වෙනස්කම් තේරුම් කිරීම, මත්ද්‍රව්‍ය හා මත්පැන් කෙරෙහි ඇතිවන පෙළඹවීම සම්බන්ධ නිවැරිදි කිරීම, චිත්තවේගාත්මක අර්බුදයන්ට මුහුණදීමට අවශ්‍ය දැනුම හා මගපෙන්වීම ලබාදෙන ක්ෂේත‍්‍රයකි.

වැඩිහිටි උපදේශනය

ජීවිතයේ සැඳෑ සමය පදනම් කරගත් ගැටලූ මෙම වැඩිහිටි උපදේශනය යටතේ සාකච්ඡා කරනු ලබයි.  ශාරීරික ගැටලූ, මානසික ගැටලූ මෙන් ම අධ්‍යාත්මික ගැටලූ පිළිබඳව ද මෙහිදී විමසා බැලේ. වැඩිහිටි රැකවරණය සහ වැඩිහිටි මානසික සෞඛ්‍ය ප‍්‍රවර්ධනය කිරීම මෙම වැඩිහිටි උපදේශනයේ ප‍්‍රධාන අරමුණ වේ. එහිදී සමාජසේවා දෙපාර්තමේන්තුව වැනි ආයතන මුල් වී වැඩිහිටි උපදේශනය ක‍්‍රියාත්මක කිරීමෙන් වැඩිහිටි ප‍්‍රජාවගේ මානසික ගැටලූ සඳහා විසඳුම් සොයාදෙනු ලබයි. අපේක්ෂා භංගත්වය, තනිවීම, මහලූවිය හා සම්බන්ධ මානසික රෝගී තත්වයන්, ආර්ථික සුරක්ෂිතභාවය පිළිබඳව පැනනඟින ගැටලූ සඳහා විසඳුම් සෙවීම වැඩිහිටි උපදේශනයේ තවත් වැදගත් ලක්ෂණයකි. එසේ ම වැඩිහිටියන්ගේ හුදකලාබව හා මානසික ආතතිමය තත්වය අවම කරමින් ඔවුන්ට යම් යම් වෘත්තීය ප‍්‍රතිකාර ක‍්‍රම හදුන්වාදී මරණය තෙක් ම සුවබර ජීවිතයක් ගෙවීමට අවශ්‍ය සහය ලබාදීම මෙමගින් සිදු වේ. මෙවැනි වැඩපිළිවෙළක් වැඩිහිටි නිවාස තුළ සිදු කිරීම ඉතාමත් වැදගත් ය.

කාර්මික උපදේශනය

කාර්මික උපදේශනය නූතන සමාජයේ ආයතනික ක‍්‍රියාවලිය තුළ වඩාත් ජනප‍්‍රිය වී තිබේ. පුද්ගලික හා රාජ්‍ය අංශයේ ආයතන වල ගැටලූ විසඳා ගැනීම උදෙසා උපදේශනය අත්‍යාවශ්‍ය අංගයක් වී තිබේ. නාස්තිය වළක්වා මානව සම්පත් කලමනාකරණයට මැදිහත්වීම ආයතනික උපදේශනයේ මූලික කාර්යභාරය වී තිබේ. සේවකයින් අතර අන්තර් සම්බන්ධතා වර්ධනය කිරීම, රැකියා ආතතිය අවම කිරීම, රැකියා තෘප්තිමත්භාවය වැඩිකිරීම, රැකියාවට බලපාන පෞද්ගලික මානසික ගැටලූ විසඳීමට උපකාර කිරීම මෙහි තවත් අරමුණකි. එබැවින් සේවක ප‍්‍රමාණය වැඩිවන තරමට මනෝසමාජීය ගැටලූ ද වැඩිවීම සිදු වේ. ඒවා විසඳා ගැනීම සඳහා මෙම කාර්මික උපදේශනය අත්‍යාවශ්‍ය වේ.

එච්. අයි. වී. උපදේශනය

මෙම උපදේශන ශාඛාව වර්තමානයේ වඩා ජනප‍්‍රිය වූ ක්ෂේත‍්‍රයක් වශයෙන් හඳුනාගත හැකි වේ. ලෝකයේ දියුණු රටවල වෛද්‍ය විද්‍යාවට සමගාමීව අද වනවිට මෙම විෂය ක්ෂේත‍්‍රය සංවර්ධනය වී තිබේ. එච්. අයි. වී. රෝගීන්ගේ මානසික සෞඛ්‍ය ප‍්‍රවර්ධනය කිරීම මෙහි මූලික අරමුණ වී තිබේ. එච්. අයි. වී. රෝගීන් සඳහා මනෝසමාජීය උපකාර ලබාදී මරණය තෙක් සුවපත් ජීවිතයක් ගතකිරීමට උදව් කිරීම මෙම උපදෙස් මනා පිටුවහලක් සපයයි. එසේ ම අදාළ රෝගීන්ගේ මානසික ගැටලූ අවම කිරීම, ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් දැනුවත් කිරීම, බෝවීම වැළැක්වීම සහ ප‍්‍රජාව තුළ ගතානුගතික ආකල්ප වෙනස් කිරීම එච්. අයි. වී. උපදේශනයේ වැදගත් කාර්යභාරයක් වී තිබේ.

ජාන උපදේශනය

ජාන විද්‍යාත්මක සාධක පදනම් කරගත් මනෝසමාජීය ගැටලූ විසඳීම මෙහි මූලික ඉලක්කය යි. අවයව වල ඇති වන විකෘතින් හා බද්ධ ජීවිත බිහිවීම පදනම් කරගෙන මෙම ජාන උපදේශනය අවශ්‍ය වේ. එසේ ම ජාන විකෘතීන් නිසා ස්ත‍්‍රී පුරුෂ අවයව වල මාරුවීම් හා එකම ශරීරයක අවයව ද්විත්වයම පිහිටීම, ඇලි බව වැනි තත්වයන් මත ද මනෝසමාජීය ගැටලූ ඇති වේ. එවැනි ජීවිත පදනම් කරගෙන ජාන උපදේශනය ක‍්‍රියාත්මක කරනු ලැබේ. එමෙන් ම වැඩි වශයෙන් වෛද්‍යවරුන් විසින් ම මෙවැනි උපදේශන කටයුතු සිදු කරනු ලැබේ.