මේ සිදුවන සියල්ලේ තේරුම කුමක්ද? බොහෝ දෙනෙකුට ඒ ගැන සිතීමට අවශ්‍ය නැත. ලෝකයේ මේ  සිදුවන සියල්ලෙහි තේරුම කුමක්ද කියා අසන්නට යාමෙන් මාගේ මිතුරන්ගෙන් මම දෝෂාරෝපණයට ද ලක් වී තිබේ. නමුත් මෙම ගෝලීය වසංගතය නිසා ඔබට ඔබ මෙතෙක් දන්නා සෑම දෙයක් ගැනම ප්‍රශ්න කිරීමට උනන්දුවක් ඇති කලේ නැතිනම්, තවදුරටත් මෙම ලිපිය කියවීම අවශ්‍ය නැත – ඒ මෙම ලිපිය ඔබ සඳහා නොවන නිසාය.

සමස්තයක් වශයෙන් මම පුද්ගලිකව විශ්වාස කරන්නේ මෙම වසංගතය ගැන අධ්‍යාත්මික නැඹුරුවක් ඇති මිනිසුන් බහුතරයක් පවසන දේ සත්‍ය බවය –  මෙය අප පෘථිවියේ  වෙසෙන කුලී නිවැසියන් බව අමතක කිරීම නිසා ස්වභාව ධර්මය අපට එල්ල කළ අමතක නොවන පහරක්ය.

මෙම වසංගතය සියල්ලන්ටම සියලුම වැඩ නවතා දැමීමට බල කළ ආකාරය පුදුම සහගතය. මිනිසුන්ට දැනෙන අන්දමේ ප්‍රමාණවත් තරම් බලයක් භාවිතා නොකළහොත් මිනිසුන් කිසි විටෙකත් සවන් නොදෙන බව සොබාදහම දැන සිටියේය. එය සත්‍යයකි. වසංගතය පැතිරෙමින් තිබියදීත්, සෑම කෝණයකින්ම අනතුරු ඇඟවීම් ලබා දුන් විටත්, මිනිසුන් ‘නොදැන සිටීම’ තෝරා ගත්හ. ගෝලීය වසංගතයක් තුළ මහා ක්‍රිකට් තරඟයට සහභාගී වීම කෙතරම් වැදගත් ද? මෙහි ඇති තාර්කිකත්වය කුමක්ද? ඔවුන්ගේ ජීවිතයේ සිදුවෙමින් තිබූ එකම හොඳ දෙය ‘බිග් මැච්’ එකද? නැතහොත් මුළු ලෝකයම අතුගා දැමීමට පෙර ඔවුන්ට විනෝද වීමට අවශ්‍ය වූවාද? බිග් මැච් සිද්ධිය මුල්ම සිදුවීම් වලින් එකකි. මෙයට හේතු වන්නේ වෛරසයක් නැවත්වීම සඳහා නිරෝධායනය කෙතරම් වැදගත් ද යන අවබෝධය නොමැතිකමද? මම වසර කිහිපයකට පෙර ජාන පර්යේෂණ විද්‍යාගාරයක වැඩ කළ නිසා ‘නිරෝධායනය’ සංකල්පය මට හුරු පුරුදුය. නමුත් සාමාන්‍ය ජනතාව ගැන කුමක් කිව හැකිද? මුල සිටම දැනුවත් තීරණයක් ගැනීමට ප්‍රමාණවත් තොරතුරු ඔවුන්ට ලබා දී තිබුනාද?

අවසානයේදී අප සෑම කෙනෙකුටම අද නිවසේදී කළ හැකි එකම දෙය වන්නේ වසංගතය පාලනය වේ යයි බලාපොරොත්තුව වීම පමණි. වරින් වර මට ලැබුණු පණිවිඩ වලින් මම දුටුවේ ‘මේ සියල්ල කුමන්ත්‍රණයක් වන්නේ කෙසේද’, ‘මෙම වසංගතය ‘ධනවාදය බිඳ දැමීම හා පන්ති බෙදීම බිඳ දැමීමට’ උපකාර වන්නේ කෙසේද වැනි තොරතුරු ගැන ය.

මේ මොහොතේ, අවධානය යොමු කළ යුතු වැදගත්ම දෙය වන්නේ ස්වයං නිරෝධායනය සහ මෙය තවදුරටත් ව්‍යාප්ත නොකරන්නේ කෙසේද යන්නයි. ඔබට අසනීප බවක් දැනේ නම්, සති දෙකක් නිවසින් පිටතට නොයන්න, WHO වෙබ් අඩවිය සහ ලංකාවේ නිවැරදි තොරතුරු පරීක්ෂා කරන්න, දැනුවත් කර අන් අයට දැනුම් දෙන්න. මෙය කිසිදු දේශපාලන පක්ෂයකට හෝ රටකට ඇඟිල්ල දිගු කිරීමට කාලයක් නොවේ. මෙය කවදා අවසන් වේදැයි හෝ අවසන් වෙන දෙයක්දැයි අපි නොදනිමු. වැදගත්ම දෙය නම් කිසිවෙකු තමන්ගේ ජිවිතයේ ප්‍රමුඛතා යළි ඇගයීමකින් තොරව නැවත ‘සාමාන්‍ය ජීවිතයට’ ආපසු නොයාමයි.

අප සැවොම එකට එකතු වී එකිනෙකාට මේ සඳහා උපකාර කළහොත් අපට සෑම විටම මාර්ගයක් සොයාගත හැකිය. පැහැදිලිවම සෞඛ්‍යාරක්ෂාව සහ ආහාර සඳහා ගෝලීය පද්ධතියක් ඉක්මනින් සැලසුම් කර ක්‍රියාත්මක කළ යුතුය. යුවල් නෝවා හරාරිගේ මෙම ලිපිය බලන්න. ඔහුගේ ලිපියේ අදහස් අතරින්, සංස්කෘතික වශයෙන් බලපෑමට ලක් වූ මගේ තාර්කික වානර මනස අභිබවා ගොස් මගේ හදවත ස්පර්ශ කළ කොටස මෙයයි –

“ලොව පුරා මිලියන සිය ගණනක් ජනතාවට මූලික සෞඛ්‍ය සේවා පවා නොමැත. මෙය අප සැමට අනතුරක් කරයි. අප ජාතික වශයෙන් සෞඛ්‍ය ගැන සිතීමට පුරුදු වී සිටියත් ඉරාන වැසියන්ට හා චීන ජාතිකයින්ට වඩා හොඳ සෞඛ්‍ය සේවාවක් සැපයීම ඊශ්‍රයල ජාතිකයන් සහ ඇමරිකානුවන් ද වසංගත වලින් ආරක්ෂා කිරීමට උපකාරී වේ. මෙම සරල සත්‍යය සෑම කෙනෙකුටම පැහැදිලිව පෙනෙන්නට තිබිය යුතුය, නමුත් අවාසනාවකට එය ලෝකයේ වැදගත්ම පුද්ගලයින්ගේ මනසින් පවා ගැලවී යයි. ”

– යුවල් නෝවා හරාරි

අප නිවසේ සිටින විට පෘථිවිය  නිශ්ශබ්දතාවය භුක්ති විඳියි. ඇතැම්විට අර්ථ විරහිත රැස්වීම්වලට සහභාගී වීම සඳහා අනවශ්‍ය ගමන් බිමන් ඉවත් කිරීම අනාගතයේ කාර්යාල කටයුතු යොදයිද ? පරිසරය දූෂණය කරන ව්‍යාපාරිකයන් තවදුරටත් පෘථිවිය විනාශ කරමින් මුදල් ඉපැයීම කෙරෙහි පමණක් අවධානය යොමු කරයිද ? ජාතිය කුමක් වුවත් අප සියල්ලන්ම ඕනෑම වේලාවක මතුවිය හැකි ඕනෑම වෛරසයක් මගින් ඉලක්ක කරනු ලබන එකම ව්‍යුහයක් ජීව විද්‍යාත්මක සෛල බව අප අමතක කරයිද ?

පවුලේ කෙනෙකුට පැපොල රෝගය වැළදුණහොත් ටික දවසක් වෙන් කර තිබිය යුතු බව දන්නා මිනිසුන් බෝවන රෝගයකින් දහස් ගණන් මිය යන රටකින් පැමිණි පුද්ගලයන් මේ තරම් අනතුරු ඇඟවීම් කරද්දී ස්‌වයං නිරෝධනයට ලක් කිරීම ගැන නොසිතුවේ නොදනුවත්කමටද නොසලකිල්ලටද? මෙය තම තමන්ගේ වගකීමක් බව නොදන්නා නිසාද?

මම නම් දැන් දන්නා එකම දෙය නම්, අප රට මෙම අවිනිශ්චිත තත්වයට පත්ව ඇත්තේ, සෞඛ්‍ය සේවකයින් මෙය පාලනය කිරීමට දැඩි උත්සාහයක් දරන විට – පිටරට සංචාර ගැන බොරු කීමට තීරණය කළ අතලොස්සක් මිනිසුන්, නිරෝධායන ක්‍රියාමාර්ගවලට විහිළු කළ මිනිසුන්  සහ ගෝලීය වසංගතයට විහිළු කරමින් විනෝද චාරිකා ගිය මිනිසුන් නිසාය.